ලොව පුරා වෙසෙන ලොකු කුඩා සැවොමගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හැඳින්විය හැකිය. එක් වතාවක් නොව කිහිපවතාවක්ම එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටුන් කතා මාලාවල සුවිශේෂී ලක්ෂණයකි. මේවායේ සමහර චරිතද අපගේ ජීවිත කාලය පුරාවටම මතකයේ රුඳෙන්න තරමට සුවිශේෂිය. ඉහළට විහිදුණු රඹ පැහැති කෙස් රොදක් සහිත හුරැබුහුටි ටින් ටින් එවැනි අපුරු කාටුන් චරිතයකි.
ටින් ටින් කුතුහලයත් සන්ත්රාසයත් උපහාසය හා ප්‍රහසනය එකට කලතා නිර්මාණය කරන ලද ලොව පුරා කෝටි සංඛ්‍යාත පාඨකයන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ කතා පෙළකි. ඉදිරියෙන් ඉහළට විහිදුණු ලාක්ෂණික කොණ්ඩයක් හිමි තරුණ පුවත්පත් වාර්තාකරුවකු වන ටින් ටින්ගේ සිත් ගන්නා සුළු වටකුරු මුහුණ හා ක්‍රියාශීලි විලාසයත් ඔහුගේ සාදා හිතවත් ෆොක්ස් ටෙරියර් වර්ගයේ බලු සුරතලා ස්නෝවිත් අඹ යහළුවා වන කපිතාන් හැඩොක් මෙන්ම නිතර අමතක වන බිහිරි මහාචාර්යවරයා කැල්කියුලස්ද කාටුන් ලෝකයේ අමතක නොවන චරිතයි. බෙල්ජියානු ජාතික කාටුන් ශිල්පියකු වූ ජෝර්ජස් රෙමි හෙවත් හර්ජි විසින් ටින් ටින් නිර්මාණය කොට පළමුවෙන්ම කළ එළි බස්වනු ලදුව ඇත්තේ 1929 ජනවාරි දහවැනිදාය. එදා පටන් අඩසියවසක් මුළුල්ලේ ටින් ටින් තමන්ගේ වීරක්‍රියා මගින් ලෝකය පුරාවටම සිය නම ප්‍රචලිත කළේය. ගෙවුණු අඩසියවසක කාලය තුළදී හෙතෙම ලෝකයේ මහද්වීප සියල්ලේම සංචාරය කළා පමණක් නොව සඳ මත පා තබන්නත් පිටසක්වල යානයකට ගොඩ වීමටත් සමත් විය. ඒ අඩසියවස මුළුල්ලේම ටින් ටින් මහලු වියට එළඹුණේ නැත.
තවමත් ලොව පුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේ වනවිට භාෂා අනූවකට පරිවර්තනය වී ඇත. කාටුන් චිත්‍රකතා පිටපත් මිලියන 200කට වන්නට විකිණී ඇති අතර තවමත් ජනප්‍රියත්වය හීන වී ගොස් නැත. ටින් ටින් නම් වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවී වටා ගෙතුණු ගවේශනාත්මක වීර කතා මෙයට පාදක වූ අතර පසුව කපිතාන් හැඩොක්, මහාචාර්ය කැල්කියුලස්, තොම්සන් ඇන්ඩ් තොම්සන් යන චරිත ඊට ඇතුළත් විය. ටින් ටින් කතා මාලාවේ පළමුවැන්න වූ Tin Tin in the land of the soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත්පතක් වූ Le vingtieme siecle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පළ විය. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවැනි සහ තෙවැනි කතා Tin tin in the congo සහ Tin Tin in America වශයෙන් එම පුවත්පතේම පළ විය.
ජර්මන් නාසි හමුදාව බෙල්ජියම යටත් කරගැනීමත් සමග 1940 පුවත්පත් ආයතනය වසා දැමීමෙන් පසු හර්ජි මහතා Le soir නම් නව ආයතනයකට බැඳුණු අතර එහිදී ටින් ටින් කතා මාලාව නැවත ආරම්භ විය. 1944 දෙවැනි ලෝක යුද්ධය නිමවීම සමග එම ආයතනය වසා දමන ලද අතර 1946දී Le Lombard නම් ප්‍රකාශන ආයතනයක් සමග ප්‍රථම වරට ටින් ටින් වීර ක්‍රියා සඟරාවක් ලෙසින් පළවිය. මෙම සඟරාවේ සාර්ථකත්වයත් සමග 1950දී Studios herge නමින් තමන්ගේම ආයතනයක් ආරම්භ කරන හර්ජි මහතා 1983දි මියයන විට ටින් ටින් කතා මාලාවේ කතා පොත් විසි තුනක් එළි දක්වා තිබිණි. විසි හතර වැනි පොත සහ අවසාන පොත වූ Tin Tin and alph art 1986දී එළි දැක්විණි.
හර්ජි ටින් ටින් කතාවලට බොහෝවිටම යොදා ගත්තේ කාලීන මාතෘකාවන්ය. උදාහරණ ලෙසින් දැක්වුවහොත් ටින් ටින් 1930 ගණන්වල චීනයට යන්නේ ජපනුන් විසින් මැන්චූරියාව ආක්‍රමණය කිරීමෙන් පසුවය. The blue lotus කතාවට ඒ ආක්‍රමණය පසුබිම් වේ. ටින් ටින් හඳට යන්නේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ අවධානය යොමුවන්නට පටන් ගන්නා කාලයේදීය. හර්ජි ඇතැම් කතා සඳහා කල්පිත රාජ්‍යයන් නිර්මාණය කළේය. ලතින් ඇමරිකාවේ සැන්තියෝ ඩොරෝස්, එවෝරිකා සහ සාඔරිකා, අරාබියේ බ්රේමඩි වැනි රටවල් උදාහරණ ලෙසින් දැක්විය හැකිය.
ටින් ටින් හා ඔහුගේ යහළුවන් කාටුන් චිත්‍රපට ත්‍රිත්වයක් තුළින් රිදී තිරයට ගෙන ඒමට ඩ්‍රීම්වර්ක්ස් ආයතනය ස්ටීවන් ස්පීල්බර්ග් හා ලෝඩ් ඔෆ් ද රින් අධ්‍යක්ෂක පීටර් ජැක්සන් හර්ජිගේ බිරිඳ සමග ගිවිසුමකට අත්සන් කර තිබිණි. පළමු ටින් ටින් චිත්‍රපටයද පසුගිය කාලයේ ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි. හර්ජිගේ මුල්ම ටින් ටින් කතා පෙළ එක රැයින් ලෝකය පුරා ජනප්‍රිය විය. නූලෙන් බේරීම, වේගයෙන් ධාවනය වන කාර් දුම්රිය බෝට්ටු හා ගුවන් යානා ඇතුළත් සන්ත්රාසය, කුතුහලය හාස්‍ය දනවන සිදුවීම්වලින් ගහන අවස්ථා රැගත් ඒ චිත්‍රකතා පාඨකයන් හට එතෙක් නොලද නවමු අත්දැකීමක් ජනිත කළේය.
ටින් ටින් කාටූනය ගැන මේසා ප්රවේශයකට එළඹුණේ පසුගියදා එහි සිදුවූ වාර්තාගත අලෙවියක් නිසාවෙනි. ලෝකය පුරා ජනාදරය දිනූ ළමා රහස් පරීක්ෂක චරිතයක් වූ ටින් ටින් ඇතුළත් කාටූන් චිත්‍රකතා පිටුවක මුල් පිටපතක් ඩොලර් මිලියන 1.64ක මුදලකට පැරීසියේදී අලෙවි විය. මෙම වාර්තාගත අලෙවිය සිදු වූයේ ජෝර්ජස් රෙමි විසින් චීන තීන්ත භාවිතා කරමින අඳින ලද Explorers on the moon කතාවේ මුල් සිතුවම් පිටපතටය. එම කතා පිටපතින් නිරූපණය වන්නේ ටින් ටින් ඔහුගේ බලු සුරතලා වූ ස්නොවීත් කපිතාන් හැඩොක් සමඟ අභ්‍යවකාශ ඇඳුමින් සැරසි සඳ මත ඇවිදින ආකාරයය. හර්ජි විසින් අඳින ලද එක පිටුවක කාටුන් චිත්‍රයක් අලෙවි වූ වැඩිම මිල එය බව වෙන්දේසිකරුවන් පවසා ඇත. සෙන්ටිමීටර් 50x35 ප්‍රමාණයේ මෙම චිත්‍රය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු චිත්‍ර ශිල්පියකු විසින් කරන ලද නිර්මාණයක් අලෙවි වූ වැඩිම මිල ලබමින් වාර්තාවක් තබා ඇත. යුරෝපයේ නිර්මාණ එකතු කරන්නකු විසින් මිලදී ගන්නා ලද මෙම චිත්‍රය යුරෝ ලක්ෂ 7 සිට 9 දක්වා ප්‍රමාණයකට අලෙවි වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. 1954දී ප්‍රකාශිත වූ මෙම කතා පුවත සැලකෙන්නේ හර්ජිගේ හොඳම නිර්මාණ වලින් එකක් ලෙසින්ය. එසේම මේ දක්වා ලෝකයේ නිර්මාණය වී ඇති වඩාත් ජනප්‍රිය කාටුන් චරිතය ලෙසටත් ටින් ටින් ප්‍රසිද්ධියක් උසුලයි.
♦ තනූජා ලුම්බිණි